ප්‍රාග්ධන ගණුදෙනු

අවසරලත් ආයෝජන

2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ, 2017.11.17 දිනැති අංක 2045/56 ධරන රජයේ ගැසට් නිවේදනය මගින් ලබා දී ඇති පොදු අවසරය ප්‍රකාරව, ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටවනු ලැබූ දේශීය අරමුදල්, ප්‍රාදේශීය අරමුදල්, ආයෝජන අරමුදල් සහ අන්‍යෝන්‍ය අරමුදල් ඇතුළත් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම අවශ්‍ය කරනු ලබන විට, පහත සඳහන් වර්ගවල ප්‍රාග්ධන ගණුදෙනුවල ශ්‍රී ලංකාවේ දී නිරත වනු ලැබිය හැකිය:

(අ)       ඉහත කී 2017.11.17 දිනැති අංක 2045/56 දරන රජයේ ගැසට් පත්‍රයේ සඳහන් බැහැරකිරීමේ හා සීමාවන්ට යටත්ව, 2007 අංක 7 ධරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරනු ලැබූ සමාගම් මගින් නිකුත් කරනු ලැබූ සියලු පංතිවල කොටස් වල හෝ කොටස් සඳහා වූ හිමිකම ආයෝජනය කිරීම අත්කර ගැනීම හෝ දැරීම;

(ආ)     කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත, ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරනු නොලැබූ සමාගමක සියලු වර්ගයේ කොටස් වල ආයෝජනය කිරීම, අත්කර ගැනීම හෝ දැරීම;

(ඇ)      ණය සුරැකුම්පත්හි ආයෝජනය කිරීම හෝ වසර තුනක කාලයක් හෝ ඊට වැඩි කාලයක් සඳහා (බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, විශේෂිත කල්බදු සමාගම් සහ ඇප මගින් සීමිත සමාගම් සහ විදේශීය සමාගම් හැර ) ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරනු ලැබූ සමාගම් වෙත විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ප්‍රදානය කිරීම.

(ඈ)     වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට හෝ සීමාකිරීම්වලට යටත්ව,

  1. ඒකක භාරවල හෝ අන්‍යෝන්‍ය අරමුදල්වල ඒකකයන් හි;
  2. රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර හෝ රජය විසින් නිකුත් කරනු ලබන වෙනත් යම් සුරැකුම්පත්);
  3. ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් විසින් නිකුත් කරනු ලැබූ සුරැකුම්පත් හි;
  4. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කාරවල (SLDBS);
  5. බලපත්‍රලාභී මුල්‍ය ආයතනයන් හි තැන්පතුවල;
  6. නිශ්චල දේපළවල; හෝ
  7. අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි විධානවලට අනුකූලව මුදල් මණ්ඩලය විසින් අනුමත කරනු ලබන වෙනත් යම් ආයෝජන වර්ගයන් හි,

ආයෝජනය කිරීම.

ඉහත සඳහන් ප්‍රාග්ධන ආයෝජන පහත කොන්දේසි ප්‍රකාරව සිදු කළ යුතුය,

(අ)       සියලු අරමුදල් බලයලත් වෙළෙන්දකු වශයෙන් වූ බලපත්‍රලාභී වානිජ බැංකුවක් සමග, මහ බැංකුව විසින් නම් කළ විදේශීය ව්‍යවහාර මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් පවත්වාගෙන් යනු ලබන ආමුඛ ආයෝජන ගිණුමක් හරහා සපයනු ලැබිය යුතුය.

(ආ)     එකී ආයෝජන මගින් ලද සියලු ආදායම් සහ ආයෝජන බැහැර කිරීමෙන් ලද ප්‍රතිෂ්ඨා මුදල් ආයෝජනය සිදු කරනු ලැබූ ආමුඛ ආයෝජන ගිණුමට බැර කරනු ලැබිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි විදේශීය සමාගමකට, ශ්‍රී ලංකාව තුළ

(අ)       වාණිජ, වෙළඳ හෝ කර්මාන්ත කටයුතු වල නිරත වන ව්‍යාපාර 2017.11.17 දිනැති අංක 2045/56 දරන රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති බැහැර කිරීම් හා සීමා කිරීම් වලට යටත්ව ව්‍යාපාරික කටයුතු වල නිරත විය හැක.

(ආ)     වාණිජ, වෙළඳ හෝ කර්මාන්ත නොවන කටයුතු වල නිරත වන ඍජුව හෝ වක්‍රව ආදායම් නොලබන ව්‍යාපාර, සම්බන්ධීකරණ කාර්යාලයක්, නියෝජිත කාර්යාලයක්, ප්‍රාදේශීය කාර්යාලයක් හෝ වෙනත් ඒ හා සමාන කාර්යාලයක් ලෙස පවත්වාගෙන යා හැක.

ව්‍යාපාර ස්ථානය, ශාඛා කාර්යාලයක්, ව්‍යාපෘති කාර්යාලයක් හෝ වෙනත් ඒ හා සමාන කාර්යාලයක් වන අවස්ථාවකදී එකී විදේශීය සමාගම් අවම වශයෙන් ඇ.එ.ජ්. ඩොලර් 200,000 හෝ ඊට සමාන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලක්, ආමුඛ ගිණුමට බැරට ආයෝජනය කළ යුතුය.

ව්‍යාපාර ස්ථානය, සම්භන්ධීකරණ කාර්යාලයක්, නියෝජිත කාර්යාලයක් හෝ ඒ හා සමාන කාර්යාලයක් වන අවස්ථාවකදී, අවශ්‍ය කරන අරමුදල්, ආමුඛ ආයෝජන ගිණුමක් හරහා විදේශීය සමාගමේ ගිණුමට බැරට ප්‍රේෂණය කළ හැක.

බදු ගෙවූ පසු ලාභය, නිෂ්පාදන භාගය, අධිකාරය හෝ වෙනත් ඊට සමාන ගෙවීම් හෝ අතිරික්ත අරමුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කිරීමේදී, ආයොජනය මුලින් සිදු කළ මවු සමාගමේ ආමුඛ ආයෝජන ගිණුම හරහා සිදු කළ යුතුය.

සුදුසුකම් ලත් නේවාසික ආයෝජකයකු විසින් බලයලත් වෙළෙන්දකු ලෙස ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තන්ට ගෙවීම් සිදු කිරීම පිණිස යම් බලපත්‍රලාබී වාණිජ බැංකුවකින් පහත සඳහන් කාර්ය සඳහා විදේශ විනිමය මිල දී ගත හැකිය:

(අ)     ශ්‍රී ලංකාවෙන් පිට සංස්ථාපනය කරන ලද සමාගම්වල (විදේශීය සමාගම්) කොටස් හා ණය සුරැකුම්, නියාමනය කරන ලද ඒකක භාරවල සහ අන්‍යෝන්‍ය අරමුදල්වල ඒකක සහ ආයෝජන සිදු කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පවතින ස්වෛරී ණය ශේණිගත කිරීම් කර ඇති ශ්‍රේණියක ශ්‍රේණිගත කර ඇති විදේශීය රජයන් විසින් කරනු ලබන ස්වෛරීත්ව බැඳුම්කර අත්කර ගැනීම සහ දැරීම සඳහා ;

(ආ)    විදේශ රටක (පුද්ගලයකු නොවන වෙනත් තැනැත්තකු විසින්) ශාඛා, සම්බන්ධීකරණ, අලෙවිකරණ, අනුයෝජිත, ව්‍යාපෘති, නියෝජිත හෝ සමාන කාර්යාල (විදේශීය කාර්යාල) පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා.

ප්‍රතිමුඛ ආයෝජන සඳහා වන සීමාවන්

I වන තීරය

II වන තීරය

III වන තීරය

සුදුසුකම්ලත් නේවාසික ආයෝජකයා

ආයෝජන/සාදන පත්‍ර වර්ගය

අවසරලත් සීමාව

 (i)      කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගමක්

කොටස්, ඒකක, ණය සුරැකුම් සහ ස්වෛරීත්ව බැඳුම්කර

ලිත් වර්ෂයක් සඳහා එ.ජ.ඩො. 2,000,000ක් හෝ මහ බැංකුව විසින් නම් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලින් ඊට සමාන ප්‍රමාණයක්.

(iii)  ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී කොටස් වෙළඳපොළක ලැයිස්තුගත නොකළ සමාගමක්

ලිත් වර්ෂයක් සඳහා එ.ජ.ඩො. 500,000ක් හෝ මහ බැංකුව විසින් නම් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලින් ඊට සමාන ප්‍රමාණයක්.

(iv) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හවුල් ව්‍යාපාරයක්

ජීවිත කාලයටම එ.ජ.ඩො. 300,000ක් හෝ මහ බැංකුව විසින් නම් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලින් ඊට සමාන ප්‍රමාණයක්.

(v)  තනි පුද්ගලයෙක්

ජීවිත කාලයටම එ.ජ.ඩො. 200,000ක් හෝ මහ බැංකුව විසින් නම් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලින් ඊට සමාන ප්‍රමාණයක්.

(vi) සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක්

විදේශීය කාර්යාල පිහිටුවීම්

 

ලිත් වර්ෂයක් සඳහා එ.ජ.ඩො. 300,000ක් හෝ මහ බැංකුව විසින් නම් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලින් ඊට සමාන ප්‍රමාණයක්.

ඉහත වගුවේ නිශ්චිතව දක්වා ඇති ආයෝජන සඳහා වන සමස්ත සීමා, මේ නියෝග යටතේ සිදු කරන ලද සමස්ත ආයෝජන සහ පරිච්ජින්න කරන ලද විනිමය පාලන පනත යටතේ ලබා දුන් පොදු අවසරය ප්‍රකාරව මීට පෙර සිදු කරන ලද යම් ප්‍රතිමුඛ ගෙවීම් වලින් සංයුක්ත විය යුතුය.

ඉහත දක්වා ඇති සීමා ඉක්මවන යම් ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබ, 7 වන වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලයේ විශේෂ අනුමැතියක් ලබා ගත යුතු වේ.

අවසරලත් ආයෝජන සිදු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිමුඛ ප්‍රේෂණ, සුදුසුකම්ලත් නේවාසික ආයෝජකයා විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සමග ආරම්භ කර පවත්වාගෙන යන ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් හරහා සිදු කරනු ලැබිය යුතුය.

එකී ආයෝජනවලින් ලැබෙන් ආදායම සහ බහිෂ්කරණ ප්‍රතිෂ්ඨා මුදල් මුල් ආයෝජනය සිදු කරන ලද එම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම හරහාම ශ්‍රී ලංකාව තුළට ගෙන ආ යුතුය.

සුදුසුකම්ලත් නේවාසික ආයෝජකයකු ම සියලුම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් එක් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සමග පවත්වාගෙන යා යුතු අතර බලපත්‍රලාභී වාණිජ බැංකු එකකට වැඩි සංඛ්‍යාවක් සමග ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් ආරම්භ කොට පවත්වාගෙන යාමට අවශ්‍ය යම් ආයෝජකයකු විසින් අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුව හරහා ඉල්ලීමක් යොමු කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් විශේෂ අනුමැතියක් ලබා ගත යුතුය.

සිදුකිරීමට නියමිත සියලුම එක් එක් ප්‍රේෂණය සඳහා, පරිච්ජින්න කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවේ යම් නේවාසික තැනැත්තකුට විරුද්ධව කරන ලද චෝදනාවක් සම්භන්ධයෙන් එම තැනැත්තාට එරෙහිව නීති කෘත්‍යයක් හෝ විමර්ශන පවත්වාගෙන යන්නේද පිළිබඳව නිශ්කාශන වාර්තාවක් විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය. ඒ සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුවට ආදර්ශ ඇමුණුමේ පරිදි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය

බැංකු අණකර, බැඳුම්කර හෝ පොරොත්තු ණයවර ලිපි, සංස්ථාපිත ඇපකර සහ සංක්‍රමණික දීමනාව.

2017.11.17 දිනැති 2045/56 දරන රජයේ ගැසට් නිවේදනය මඟින් ප්‍රදානය කර ඇති පොදු අවසරය යටතේ බලපත්‍රලාබී වාණිජ බැංකු වලට බැංකු ඇපකර, බැඳුම්කර, පොරොත්තු ණයවර ලිපි නිකුත් කිරීම, අළුත් කිරීම සහ සංස්ථාපිත බැඳුම්කර වලට අදාල ගෙවීම් සිදු කිරීම කළ හැක.

එහි දක්වා ඇති ප්‍රවර්ගයන් යටතට අයිති නොවන හෝ දී ඇති සීමාවන් ඉක්මවා යන අවස්ථාවකදී, එවැනි ඇපකර සඳහා විදේශ විනිමය පනතේ 7 වන වගන්තිය යටතේ මුදල් මණ්ඩලයේ විශේෂ අවසරය ලබා ගැනීම සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කළ යුතුයි.